www.ජාතක කතා.org

තවද එක්සමයෙක්හි පහකළා වූ කෙලෙස් මලයන් ඇති සර්වඥයන් වහන්සේ රජගහනුවර නිසා ජේතවනාරාමයෙහි වැඩවසන සේක් දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා වදාළසේක.

දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ කථාව දුනුවායන් හැරීම දක්වා ඛණ්ඩහාල ජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය. ධනපාල නම් හස්තිරජයාගේ හැරීම දක්වා චුලහංස ජාතකයෙහි විස්තර වශයෙන් මතු පෙණෙන්නේය. දේවදත්ත ස්ථවිරයන් පොළොව පලාගෙණ ගියතැන් දක්වා සොළොස් වැනි නිපාතයෙහි සමුද්දවාණිජ ජාතකයෙහි මතු පහළ වන්නේය. එක් කලෙක්හි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පඤ්ච වස්තූවක් යච්ඤාකොට නොලත්සේක් සංඝයා බිඳුවා පන්සියයක් භික්ෂූන් කැඳවාගෙණ ගයා නම් ගංහිස වාසය කරණ සේක. එකල්හි ඒ භික්ෂූන් වහන්සේගේ ප්‍රඥාව මිහිකිරීමට ගියේය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ගේ ප්‍රඥාව මුහුකළ බව දැන වදාරා අග්‍රශ්‍රාවකයන් දෙදෙනා වහන්සේට ආමන්ත්‍රණයකොට ශාරීපුත්‍ර ස්ථවිරයෙනි තොප ආශ්‍රය කළාවූ පන්සියයක් භීක්ෂූන් දේවදත්ත ස්ථවිරයන්ගේ ලබ්දිය රැස්වා ඔහු හා සමග ගියාහුය. දැනුදු වනාහි ඒ භික්ෂූන්ගේ ප්‍රඥාව මිහිකිරීමට ගියේය. තෙපි දෙදෙනා බොහෝ භික්ෂූන් හා සමග එතැනට ගොස් භික්ෂූන්ට ධර්මදේශනා කොට ඒ භික්ෂූන් මාර්ගඵලයෙන් ප්‍රබෝධකරවා කැඳවාගෙණ එවයි වදාළසේක. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ එපරිද්දෙන් ගොස් ඒ භික්ෂූන්ට ධර්මදේශනා කොට මාර්ගඵලයෙන් පුබුදුවා දෙවැනි දිනයෙහි සූර්යෝද්ගමන වේලාවෙ ඒ පන්සියයක් භික්ෂූන් කැඳවාගෙණ වේළුවනාරාමයට වැඩියාහුය. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වේළුවනාරාසයට අවුත් සර්වඥයන් වහන්සේට නමස්කාර කොට භාග්‍යවතුන් වහන්සේට දැන්වූවාය. ස්වාමීන් වහන්ස අපගේ ජ්‍යෙෂ්ඨ භ්‍රාතෘවූ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ විසින් පිරිවරණ ලදුව වඩනාසේක් ඉතා හොබනාසේක. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ වනාහි පිරිහුණා වූ පිරිබර ඇතිසේකැයි කිවාහුය. සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහණෙනි ශාරිපුත්‍රස්ථවිරයෝ නෑ සමූහයා විසින් පිරිවරණ ලදුව එනසේක් හෙබියෝ දැන්මතු නොවෙති, පෙරත් ශෝභාවත් වූවාහුය. දේවදත්ත ස්ථවිරයෝද පිරිචරින් පිරිහුණෝ දැන් මතුනොවෙයි පෙරත් පිරිහුණෝමයි. වදාළ කල්හි භික්ෂූන් ඒ කාරණය ප්‍රකාශ කරණු පිණිස භාග්‍යවතුන් වහන්සේට යාච්ඥා කළාහුය. භාග්‍යවතුන් වහන්සේ භවයෙන් වැසීතුබුන කාරණය ප්‍රකාශ කොට වදාළසේක.

www.ජාතක කතා.org