www.ජාතක කතා.org

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන්ගේ සඤජය නම් උද්‍යාන පාලයෙක් උයන රක්‍ෂා කරන්නේය. ඉක්බිත්තෙන් එක් වාත මෘගයෙක් ඒ උයනට අවුත් සඤජය නම් උධ්‍යාන පාලයා දැක දිවයන්නේය. සඤජය නම් උද්‍යාන පාලයා ද ඔහු තැතිගන්වා නොඑලවන්නේය. ඒ මෘගයා නැවත නැවත අවුත් උයනෙහිම හැසිරෙන්නේය. උද්‍යානපාල තෙම උයනේ නොයෙක් මල් ඵල ආදීය ගෙණ දවස්පතා රජහට දක්වන්නේය. ඉක්බිත්තෙන් එක් දවසක් රජ්ජුරුවෝ කියනසේක් යහළු උද්‍යාන පාලය උයනේ කිසි ආශ්චර්යවත් දෙයක් දුටුවා ඇත්තෙහි නම් කියවයි කී සේක. මහරජ්ජුරුවන් වහන්ස. අනිකක් හු නොදුටුයෙමි එක් වාතමෘගයෙක් වනාහි අවුත් උයනෙහි හැසිරෙන්නේය. ඔහු දුටුමිය් කියේය. ඔහු අල්වාගන්නට හැකිවන්නෙහිදැයි විචාළේ සේක. මීපැණි මඳක් ලද්දේනම් මෘගයා රජු ගේ ඇතුළටම පමුණුවන්නට හැකිවන්නෙම්යි කිය. රජ්ජුරුවෝ ඕ හට මි දෙව් සේක. උධ්‍යානපාලයා මී ගෙණ උයනට ගොස් වාත මෘගයා ගොදුරු කා ඇවිදිනාතන්හි තණපත්වලට මීපැණි ගිල්වා සැඟවී සිටියේය. මෘගයා අවුත් මීයෙන් ගල්වන තණ අනුභව කොට රස තෘෂ්ණාවෙහි බැඳුනේය. අන්තැනකට නොගොස් උයනටම එන්නේය. උද්‍යානපාලතෙම ඔහු මී ගල්වන ලද තෘණයෙහි ඇළුනු බැව් දැන ක්‍රමයෙන් තමා පෙණුනේය. මෘගතෙම උද්‍යානපාලයා දැක කීපදවසක් දිවගොස් නැවත නැවත දක්නේ විශ්වාසබවට පැමිණ ක්‍රමයෙන් උද්‍යානපාලයාගේ හස්තයෙහි තිබෙන තණ අනුභව කරන්නේය. සඤ්ජයනම් උද්‍යානපාල තෙම මෘගයා විස්වාසබවට පැමිණියා දැන රාජවාසභවනට දක්වා විථිමාර්ගය හුණු පැදුරු වලින් වට කොට ඒ ඒ තන්හි කොල අතු කඩාහෙලා මී පුරණ ලද ලබු ඵලය ඇකයෙහි එල්වාගෙණ තණමිටිය කිසිල්ලේහි තබාගෙණ මී ගල්වන ලද තෘණයෙන් මෘගයාගේ අභිමුඛයෙහි විසුරුවමින් රජුගේ ඇතුලටම ගෙණ ගියේය. මෘගයා ඇතුළට වන්කල්හි දොර වැසුවාය. මෘගයා මනුෂ්‍යයින් දැක කම්පාවෙමින් මරණභයින් බියපත්වුයේ ඇතුළු රාජාංගණයෙහි ඔබිනොබ ධාවනය කරන්නේය. රජ්ජුරුවෝ මතුමහල් තලයෙන් බැස කම්පාවන්නා වූ මෘගයා දැක වාතමෘගයා නම් මනුෂ්‍යයන් දුටු තැනට සත් දවසක් නොඑන්නේය. තැතිගත් තැනට ජීවිතාන්නතය දක්වා නොඑන්නේය. ඒ වාතමෘගයා සංජය තෙමේ රසතෘෂ්ණාවෙන් බැඳ යටත් කොට ගත්තේය. මෙබඳු ගහණ නිශ්‍රිත වූ වාතමෘග තෙම රසතෘෂ්ණාවෙහි බැඳි දැන් මෙබඳු තැනට ආයේය. ඒකාන්තයෙන් පින්වත්නි මේ ලෝකයෙහි රසතෘෂ්ණාවට වැඩියෙන් ලාමක දෙයක් නැත්තේයයි කියා ධර්මදේශනාවට පටන් ගත් සේක. නිරන්තර වාසස්ථාන වූ ආවාසයෙහිද ඡන්දාරාග ලාමකය මිත්‍රසන්ථවයෙහිද ඡන්දරාග ලාමකය. මේ දෙතැන්හි ඇල්මට වඩා මධු රාම්ලදීවු ජීව්හා විඥෙය වූ රසයෙහි ඇලීම පවිටුවන්නේය. කුමක් හෙයින්ද යත්?. අරණ්‍යායෙහි ගහණ නිශ්‍රීත වූ වාතමෘගයා සංජය නම් උද්‍යාන පාලයා මධුර රසයෙන් තමාගේ වසඟයට පැමිණියේයයි කියා රස තෘෂ්ණාවෙහි ආදීනව වදාරා ඒ මෘගයා අරණ්‍යයටම යැව් සේක.

ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මහණෙනි. ඒ වර්ණදාසිය මේ මහණ රස තෘෂ්ණාවෙන් බැඳ තමා වසඟ කෙළේ දැන් මතු නොවේ. පෙරත් වසඟ කළා යයි වදාරා මේ දම් දෙසුම ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ වාතමික ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි සංජය නම් උද්‍යාන පාලයා නම් මේ වර්ණදාසි වූවාය. වාතමෘගයා නම් චුල්ලපිණ්ඩපාතිකස්ථවිරයෝය. බරණැස් රජව උපන්නෙම් නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජුවූ මමම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

www.ජාතක කතා.org