www.ජාතක කතා.org

තවද එක් සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

ශාස්තෘන් වහන්සේ වනාහි රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි වාසය කරණ කල්හි තිස්ස කුමාර නම් වූ මහා සම්පත් ඇති සිටු කුලයක පුත්‍රයෙක් ඇත්තේය. ඒ සිටු පුත්‍ර තෙම එක් දවසක් වේළුවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේගේ ධර්මදේශනාව අසා පැවිදිවනු කැමැතිව පැවිදීවීමට යාච්ඥාකොට දෙමාපියන් විසින් නො අනු දන්නා ලද හෙයින් ප්‍රතික්‍ෂ්ප කරණ ලද්දේ සත්දවසක් නිරාහාරව ඉඳ රට්ඨපාල ස්ථවිරයන් මෙන්ම දෙමව්පියන් දෙන්නා අනුදන්වා සර්වඥයන් වහන්සේ සමීපයෙහි පැවිදි වූ සේක. සර්වඥයන් වහන්සේ ඔහු පැවිදි කරවා අඩ මසක් කල් වේළුවනාරාමයෙහි වාසය කොට ජේතවනාරාමයට වැඩිසේකැ. එතැන්හිද මේ කුලපුත්‍රයන් වහන්සේ තෙලෙස් ධුතාංගයන් සමාදන්ව සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසීරෙමින් කල්යවන සේක. චුල්ල පිණ්ඩපාතිකතිස්ස ස්ථවිරයන් වහන්සේ යයි කී කල්හි ආකාශයෙහි චන්ද්‍රයා මෙන් සර්වඥශාසනයෙහි ප්‍රකාශව ප්‍රසිද්ධ වූ සේක. එසමයෙහි රජගහනුවර නකත් කෙළි පවත්නා කල්හි ස්ථවිරයන් වහන්සේගේ මව්පිය දෙදෙන උන් වහන්සේ ගිහි කල්හි යම් ආභරණ භාණ්ඩයෙක් ඇද්ද ඒ ආභරණ බඩු රෙදි කරඬුවෙක්හි බහා අභිමුඛයෙහි තබා ගෙණ අනිකුත් නැකත් කෙළිවල අපගේ පුත්‍රයා මෙනම් මෙනම් අලංකාරයෙන් සැරහී නැකත් කෙළි කෙළි වන්නේය. අපගේ ඒ එක පුත්‍රයා ගෙණ ශ්‍රමණ භවත් ගෞතමයානන් වහන්සේ සැවැත් නුවරට වැඩිසේක. අපගේ පුත්‍රයා දැන් කොතැන්හී හුන් සේක්ද කොතැන්හි සිටිසේක් දැයි කියා හඬන්නා වූය. ඉක්බිත්තෙන් එක් වර්ණදාසියක් ඒ සිටුකුලයට ගොස් හඬන්නා වූ සිටුභාර්යාව දැක ආර්යාවෙනි කවරහෙයකින් අඬන්නී දැයි විචාළීය. සිටු භාර්යාවෝ ඒ කාරණාව දැන්වුවාහුය. ආර්යාවෙනි. ස්වාමිපුත්‍රයානෝ කවර දෙයකට කැමතිවන්නා දැයි කිවුය. අසවල් අසවල් දෙයයි කිවාය. ඉඳින් නුඹ වහන්සේ මේ ගෙයි සියළු ඓශාචර්යය මට දෙව් නම් මම තොපගේ පුත්‍රයා ගෙණ එන්නෙමි කීවාය. සිටු භාර්යාව ඒ වචනය යහපති යැයි පිළිගෙන වැටුප් දී පිරිවරින් ඒ වර්ණදාසිය යැව්වාය. යව තමාගේ බලයෙන් මාගේ පුත්‍රයා ගෙණවයි කීවුය. ඒ වෙශ්‍යංගනාව පිළිසන් යානාවෙක් හි ඉඳ සැවැත්නුවරට ගොස් තෙරුන් වහන්සේ භික්ෂාව පිණිස හැසිරෙන විථියෙහි නවාතැන්ගෙණ සිටුකුලයෙන් ආ මනුශ්‍යයන් තෙරුන්වහන්සේට නොදක්වා තමාගේ පිරිවරින්ම පිරිවරණ ලද්දී පිඬු පිණිස හැසිරෙන්නා වූ තෙරුන් වහන්සේට පළමුකොට බත් සැන්දක් පිළිගන්වා ක්‍රමයෙන් බත් මාළාවක් පිළිගන්වා තෘෂ්ණාවෙහි බැඳි අනුක්‍රමයෙන් ගෙයි වැඩ හිඳ සලස්වා ආහාරය දෙන්නී තමාගේ වසඟත්වයට පැමිණි බැව් දැන ගිලන් ආකාරය දක්වා ඇතුළු ගබඩාවෙහි ශයනය කළාය. තෙරුන් වහන්සේද භික්‍ෂාචාර වෙලෙහි ගෙපිළිවෙලින් හැසිරෙන සේක් ගෙයි, දොරට පැමිණි සේක. පිරිවර ජනයෝ තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙණ තෙරුන්වහන්සේ් ගෙයි වැඩ හිඳින්නට සැලැස්සුවාහුය. තෙරුන් වහන්සේ ඉඳගෙන මේ උපාසිකාව කොයිදැයි විචාළසේක. ස්වාමින් වහන්ස ගිලන් වූවාය. නුඹ වහන්සේ දක්නට කැමතියයි කිවුය. උන් වහන්සේ රස තෘෂ්ණාවෙහි බැඳුන සේක් තමාගේ ව්‍රතසමාදානය බිඳ වෙශ්‍යංගනාව හොත් තැනට වන්සේක. ඒ ස්ත්‍රී තමා ආ කාරණාව කියා උන් වහන්සේ පොලඹා රස තෘෂ්ණාවෙන් බැඳ සිවුරු හරවා තමාගේ වසඟයෙහි තබා යානාවේ හිඳිනට සලස්වා මහත්වූ පිරිවරින් රජගහනුවරටම ගියාය. ඒ ප්‍රවෘත්තිය හැම තැන්හිම ප්‍රකාශ වුයේය. භික්ෂුන් වහන්සේලා දම්සභා මණ්ඩපයෙහි වටින් රැස්ව හුන්නාහු ඇවැත්නි. චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිරයන් වහන්සේ වනාහි එක් වර්ණ දාසියක් රසතෘෂ්ණාවෙන් බැඳගෙන ගියාය යි කියා කථාවක් පහළ කළාහුය. සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයට එළඹ අලංකෘත වූ බුද්ධාසන මස්තකයෙහි වැඩහිඳ මහණෙනි මේ දම්සභා මණ්ඩපයෙහි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුත්තව උන්නාහුදැයි වදාළකල්හි ඒ භික්ෂූහු ඒ ප්‍රවෘත්තිය දැන්වුවාහුය. සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහණෙනි මේ චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථිවරයෝ රස තෘෂ්ණාවෙන් බැඳි මේ ස්ත්‍රිය වසඟවුවෝ දැන් මතු නොවෙති. පෙරත් මේ ස්ථවිරයෝ මේ ස්ත්‍රිය වසඟවූවාහුමය යි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

www.ජාතක කතා.org