|
තවද එක්සමයෙක් හි දෙවිබඹුන් මුදුනෙහි කෙළනා පාපියුම් ඇති ලෝකස්වාමී වූ සර්වඥයන් වහන්සේ කොසොල්දනව්වෙහි සැරිසරා ඇවිදිනා සේක් නලපාන නම් ගමට පැමිණ නලපාන නම් පොකුණ සමීපයෙහි වූ වැටකේ වනයෙහි වසනසේක් බටදඬු අරභයා මේ ජාතකය වදාළසේක.
එසමයෙහි භික්ෂූන් වහන්සේ නලපාන නම් පොකුණෙන් පැන් සනහා ඉදිකටු කුළා නිසා සාමණේරයන් වහන්සේ ලවා බටදඬු කප්පවා ගෙන්වා ගෙණ ඒ සියළු බටඬු ගැට නැතිව එකච්ජිද්‍රව දිගටම සිදුරු නියාව දැක බුදුන් කරා ගොස් ස්වාමීනි අපි ඉදිකටු කුළා නිසා බටදඬු ගෙන්වුම්හ. ඒ පිළිබඳ මුල පටන් අග දක්වා සිදුරුය. මේ කිමෙක්දැයි විචාළෝය. සර්වඥයන් වහන්සේ එබස් අසා මහණෙනි. මේ මාගේ පුරාතනයෙහි අධිෂ්ඨානයෙකැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.
|