|
| www.ජාතක කතා.org |
|
යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරණසේක. එකල්හි අප මහා බෝසතානන් වහන්සේ ඒ රජහට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ අමාත්‍යයෙකු වූසේක. එකල්හි රජහුගේ මගුල් අශ්වයා නහනතොට එක්තරා ඛළුඪකාශ්වයකු නැහැවුවාහුය මගුල් අශ්වයා ඛළුඪකාශ්වයා නහවන ලද තොටට බස්වනු ලබන්නේ පිළි කුල් කොට බස්නට නොකැමැති වූයේය. අස්ගොව්වා ගොස් රජහට දැන් වූ යේය. මහරජ්ජුරුවන් වහන්ස මගුල් අශ්වයා තොටට බසින්ට නො කමැති වූයේ යයි කීය. රජ්ජුරුවෝ බෝධිසත්වයන් යවනසේක් යව පණ්ඩිතයෙනි දැනගණුව කවර කාරණයකින් අශ්වයා තොටට බස්වනු ලබන්නේ නොබස්නේදැයි විචාළ සේක. බෝධිසත්වයන් වහන්සේ යහපත මහරජයි කිය ගංතෙරට ගොස් අශ්වයා බලා ඔහු නිරොගී බැව් දැන කවර කාරණයකින් මේ අශ්වයා තොටට නොබස්නේදැයි පරීක්ෂා කරණ සේක් පළමුකොට මෙහි අශ්වයකු නහවන ලද්දේ වන. එහෙයින් පිළිකුල් කරන්නේය. තොටට නොබස්නේ යයි සිතා අස්ගොව්වාගෙන් විචාළ සේක. පින්වත්නි. මේ තොටෙහි කවරක්හු පළමුකොට නහවන ලද්දේදැයි විචාළසේක. ස්වාමීන් වහන්ස අන් ඛළුඪකාශ්වයෙකැයි කීයේය. බෝධිසත්වයන් වහන්සේ සිතන සේක් මේ අශ්වයා තමා සුචිකාම බැවින් පිළිකුල් කෙරෙමින් මෙහි නහවන්නට නොකැමැතිය. මොහු අන්තොයෙක්හි නහවන්නට වටනේ යයි ඔහුගේ අභිප්‍රාය දැන පින්වත් අශ්වාචාර්යය. ගිතෙල් මී සකිරායෙන් අභිසංස්කෘත ක්‍ෂිරපායාසයද වනාහී නැවත නැවත අනුභවකරන්නාහට තෘප්තිය වන්නේය. මේ අශ්වයා බොහෝ වර මේ තොටෙහි නහවන ලද්දේය. මොහු වනාහී වෙන තොටකට බස්වා නහවා ජලය පොවාලවයි කියා මෙසේ කීසේක. රථාචාර්යය අශ්වයා අන් තොටකින් නහවා පැන් පොවව. යම් පුරුෂයෙක් සර්පි මධු සකීරායෙන් අභිසංස්කෘත පායාසය අධීකකොට කෑමෙන් තෘප්තියට පැමිණේද එපරිද්දෙන් අනික් අශ්වයෙකුගේ නැහැමෙන් අපවිත්‍ර වූ තොටෙහි තමාගේ ශෘංගාරත්වය හේතුකොට ගෙණ ස්නානය නොකමැත්තේය. අන් තොටකින් නහවවයි කී සේක. අශ්වාචාර්යයා බෝධිසත්වයන් වහන්සේගේ වචනය අසා අශ්වයා වෙන තොටක බස්වා පැන්පෙවා නැහැවුයේය. බෝධිසත්වයන් වහන්සේ අශ්වයා නහවා පැන් පොවන කල්හි රජුහුගේ සමීපයට ගොස් සියලු ප්‍රවෘත්තිය දැන්වූ සේ. රජ්ජුරුවෝ මෙබඳු තීරශ්චීනයාගේ අභිප්‍රාය දැනගත්සේකැයි කියා අප මහබෝසතානන් වහන්සේට මහත් ඓශ්චර්‍යාදී ජිවිතයාගේ කෙළවර කම්වූ පරිද්දෙන් මිය පරලොව ගිය සේක. බෝධිසත්වයන් වහන්සේද කම්වූ පරිද්දෙන් මිය පරලොව වැඩිසේක. ශාස්තෘ වූ බුදුරජනානන් වහන්සේ වදාරණ සේක් මහණෙනි මම මොහුගේ අභිප්‍රාය දැනගත්තෙමි දැන්මතු නොවෙයි පෙරත් අභිප්‍රාය දැනගත්තෙම් වේ දැයි කියා මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ ජාතකය නිමවා වදාල සේක.
|
| www.ජාතක කතා.org |