www.ජාතක කතා.org

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි බෝධිසත්වයෝ එක් ගමෙක එක් කෙළෙඹි පුත්‍රයෙකුගේ ගෙයි ගවයෝනියෙහි උපන්නාහුය. බෝධිසත්වයන්ට මහලෝභීතයෝ යයි නම් තුබුවාහුය. මලනුවන්ට චුල්ලලෝහිතයෝ යයි නම් තුබූහ. ඔවුන් දෙබෑයන් නිසාම ගෙයි කර්මාන්ත සමෘද්ධිව පිරිමැසෙන්නේය. ඒ කුලෙහි එක් කුමාරිකාවක් ඇත්තීය. ඒ කුමාරිකාව නුවර වැසි කුලපුත්‍රයෙක් තමාගේ පුත්‍රයාට විචාළේය. ඇගේ දෙමව්පියෝ කුමාරිකාවකගේ විවාහ කාලයෙහි ආවාවූ අමුත්තන්ට අවුළුවන්නේයයි සිතා කැඳ බත් ලා මුතික නම් ඌරෙකුපොෂ්‍ය කළාහුය. ඔහු දැක චුල්ලලෝභිතයෝ බෑණ ගොණානන්ට කියන්නෝ මේ කුලයෙහි කර්මාන්ත ධුරාව වර්ධනවන්නී අප දෙබෑයන් නිසාම වර්ධන වෙයි. මේ ගෙයි ඇත්තෝ වූ කලී අප දෙදෙනාට තණ හා පිදුරු ලති. මේ සුකරයා කැඳ බතින් නිතිපතාම පොෂ්‍ය ලබයි. කවර කාරණයෙන් මේ ඌරා කැඳබත් ලබන්නේදැයි විචාළෝය. එකල්හි බෑනවූ කියන්නේ මල චුල්ලලෝහිතයෙනි තෙපි මොහුගේ භොජ්නයට ආලය නොකරව මේ ඌරා මරණ භෝජනය අනුභව කෙරෙයි. මේ කුමාරිකාවගේ විවාහකාලයෙහි ආවාවූ අමුත්තන්ට අවුළුවන්නේ යයි මේ මනුෂ්‍යයෝ මේ ඌරා පෝෂණය කෙරෙති. මෙයින් කීපදවසක් ගියකල ඒ මනුෂ්‍යයෝ එති එකල්හි මේ ඌරා, දෙකකුල් අල්වා ගෙණ අදනාහු යට ඇඳින් මෑත්කොට මරා අමුත්තන්ට මාලුපිසන්ට ආවා වූහුය. ඔවුන් දැක මුනික නම් ඌරා මරා අනෙක ප්‍රකාරයෙන් මාළු පිසුය. බෝධිසත්වයෝ චුල්ලලෝභිතයන්ට කියන්නෝ දරුව තොප විසින් මුනිකයා දක්නා ලද්දේදැයි විචාලෝය. දක්නා ලද පින්වතුන් වහන්සැයි කී කල්හි ඌරාගේ භොජනයෙහි ඵල කවරේද ඔහුගේ බතට සියක් ගුණයෙන් දහස් ගුණයෙන් අපට තණ හා පිදුරු අනුභව කිරීම උතුම් වන්නේය. නිරවද්‍යය. දීර්ඝ යුෂ්ක ලක්ෂණයෙකැයි කිවුය. බුදුරජානන් වහන්සේ මහණ තෝ පෙර මේ කුමාරිකාව නිසා ජීවිතක්ක්‍ෂයට පැමිණ මහජනයාට අවුළු බවට පැමිණියෙහි වේදැයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා චතුස්සත්‍ය ප්‍රකාශ කළ සේක. චතුස්සත්‍ය ධර්මදේශනාවගේ කෙළවර උකටලී මහණ සෝවාන් පෙලෙහි පිහිටයේය. සර්වඥයන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ මුනික ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි මුනික සුකරයා නම් මේ උකටලී මහණය. එසමයෙහි කුමාරිකාව නම් මේ ථුල්ල කුමාරිකාය. චුල්ලලෝහිත ගොණානෝ නම් ආනන්ද ස්ථවිරයෝය. මහලෝභිත ගොණානෝ නම් තිලෝගුරු සම්මාසම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

www.ජාතක කතා.org