www.ජාතක කතා.org

තවද එක් සමයෙක්හි ධර්මාධිපති වූ තිලෝගුර බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක් පැන් නොපෙරා වැලඳු එක් භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

සැවැත්නුවර වාසී වූ යහළු වූ භික්ෂූහු දෙදෙනෙක් දනව්වකට ගොස් එක් ඵාසුතෙනක අදහස් වූ පරිද්දෙන් වැස සර්වඥයන් වහන්සේ දකුම්හයි නැවත එයින් නික්ම ජේතවනාරාමයට අභිමුඛව ගියසේක. ඒ දෙදෙනා වහන්සේ අතුරින් එක් කෙණෙකුන් වහන්සේගේ අත පෙරහංකඩකින් දියපෙරා වළදනසේක. ඒ දෙදෙනා වහන්සේම එක් දවසක් විවිදකොට පෙරහංකඩ ඇති භික්ෂූන් වහන්සේ අනික් තැනැත්තන් වහන්සේට පෙරහංකඩ නොදී තමන් වහන්සේ පැන් පෙරා වැළදු සේක. අනික් භික්ෂූන් වහන්සේ පෙරහංකඩ නොලැබ පිපාසා ඉවසාගත නොහි නොපෙරා පැන් වැලදූසේක. ඒ දෙදෙනා වහන්සේම ක්‍රමයෙන් ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ එකත් පස්ව හුන්සේක. සර්වඥයන් වහන්සේම ක්‍රමයෙන් ජේතවනයට ගොස් බුදුන් වැඳ එකත්පස්ව හුන් සේක. සර්වඥයන් වහන්සේ සුවදුක් කථා කොට කොයිසිට අවුදැයි විචාළ සේක. ස්වාමීනි අපි කොසොල් දනව්වෙහි එක් ගමක වැස එයින් නික්ම නුඹවහන්සේ දක්නා පිණිස ආම්හයි කීවෝය. තෙපි දෙදෙනා සමගියා දැයි විචාළ කල්හි පෙරහංකඩ නැති මහණ කියන්නේ ස්වාමීනි. මේ මහණ අතරමගදී මා හා විවාද කොට පෙරහංකඩ නුදුන්නේයයි කියේය. අනික් මහණ කියන්නේ ස්වාමීනි මේ මහණ නොපෙරාම දැන දැන ප්‍රාණීන් සහිත ජලය වැලදූයේ වේදැයි කීය. එවෙලෙහි බුදුහු මහණ සැබෑද තෝ දැන දැන පනුවන් ඇති දිය පරිභෝග කෙළේ දැයි විචාළ සේක. එසේය ස්වාමීනී මා විසින් නොපෙරා දිය වලඳන ලද්දේයයි කීය. එබස් ඇසූ සර්වඥයන් වහන්සේ මහණ පෙර නුවණැත්තෝ දෙදෙව්ලොවට අධිපතිව රාජ්‍ය්‍ය කෙරෙමින් යුද්ධයෙන් පැරද සමුද්‍රමස්තකයෙන් යන්නා වූ ඓශ්චර්යයක් නිසා ප්‍රාණවධයක් නොකරම්හයි ඒ සා මහත් යසස් හැර ගරුඬපෝතකයන්ට ජිවිතදානය දී රථය වැලකුවෝම වේදැයි වදාරා ඉකුත් වත් ගෙණහැර දක්වා වදාළ සේක.

www.ජාතක කතා.org