www.ජාතක කතා.org

යටගිය දවස ප්‍රථම කල්පයෙහි සිව්පාවෝ සිංහයකු රජ කළාහුය. මත්ස්‍යයෝ ආනන්ද නම් මත්ස්‍යයා රජ කළාහුය. පක්ෂිහූ ස්වර්ණාහංසයා රජකළාහුය. ඒ ස්වර්ණහංසයාගේ වනාහි ධීතෘවූ හංසපොතිකාව විශිෂ්ට රූ ඇත්තීය. හංසරාජතෙම ඒ හංසධෙනුවට වරයක් දුන්නේය. ඕතොමෝ තමාගේ සිතට රුචි වූ ස්වාමියකු ප්‍රාර්ථනා කළාහුය. හංසරාජතෙම තමාගේ දුවනියන්ට වරය දී හිමාලය වනයෙහි සියලු පක්ෂින් රැස්කරවුයේය. අනේකප්‍රකාරවූ හංස, මයුරාදී පක්ෂි සමූහයෝ රැස්ව එක් මහත් වූ පහණතෙලෙක්හි රැස්වූවහුය. හංසරාජතෙම තමහට සිත්කළු වූ ස්වාමියෙකු අවුත් ගන්වයි කියා දුවනියන් කැඳවූයේය. හංසධේනුතොම පක්ෂි සමුහයා බලන්නී මැණික්වන් ශ්‍රීවය ඇති විසිතුරු පත් ඇති මයුරයකු දැක මේ තෙම මට ස්වාමි වේවායි කැමතිවුවාහුය. පක්ෂි සමූහයෝ මයුරයා කරා එළඹ මෙසේ කීයාහුය. යහළු මයුරය මේ හංසරාජයාගේ දුවනියෝ මෙපමණ පක්ෂීන්ගේ මධ්‍යයෙහි ස්වාමියෙකු කැමතිවන්නී තොප කැමතිවූවායයි කිවාහුය. එවෙලෙහි මයුර තෙම දැන්ම වනාහි මාගේ බලය නුදුටුයෙහි දැයි කියා ඉතා සතුටු හිරි ඔතප් දෙක බිඳ පළමුකොට මහත්වූ පක්ෂි සමූහයාගේ මැද පක්ෂපත්‍රටන් දිගුකොට නටන්නට පටන් ගත්තේය නෘත්‍ය කරණුයේ නොසැඟවුනා වූ වර්ඡස්මාර්ගය ඇතිවූයේය. ස්වර්ණහංසරාජතෙම ලජ්ජාවට පැමිණියේ මොහුට අධ්‍යාත්මිකව පහළ වන්නා වූ හිරිද නැත්තේය. ඛාභ්‍යව පවත්නා වූ භයද නැත්තේය. හිර ඔතප් දෙක බිඳුනා වූ මොහුට මාගේ දුවනියන් නොදෙමි කියා පක්ෂි සමූහයා මධ්‍යයෙහි මෙසේ කීසේක. මයුරය තාගේ ශබ්දය මනොඥය, පිටත සිත්කළුය, ශ්‍රී වයද වෛඩුර්යය මාණික්‍යයෙහි වර්ණ හා සදෘශය, තාගේ පිංජහාරයෝද ව්‍යාම මාත්‍රයහ, මෙසේ රූපීවූවද හිරි ඔතප් දෙක බිඳ නෘත්‍ය කළ හෙයින් මෙබදූ ලජ්ජා නැත්තා වූ තොපට මාගේ දුව නෙදෙමි කියා හංසරජ එම පර්ෂිත් මධ්‍යයෙහිම තමාගේ බෑනා වූ හංසපොතකයාහට තමාගේ දුවනි වූ හංසධේනුව දුන්සේක. මයුරතෙම හංසපෝතිකාව නොලැබ ලජ්ජාව එයින් පැන නැගී ගියේය, හංසරජ ද තමා වසන තැනටම ගියේය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මහණෙනි, මේ මහණ හිරිඔතප් දෙක බිඳ රත්න ශාසනයෙන් පිරිහුනේ දැන් මතු නොවෙයි පෙරත් ස්ත්‍රීරත්නය ලැබීමෙන්ද පිරිහුනේමයයි වදාරා මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ නච්ච ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි මයුරතෙස දැන් මේ බහුභාණ්ඩික මහණවූයේය. හංසරාජව උපන්නෙම් වනාහී තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්ම වේම්දැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

www.ජාතක කතා.org