www.ජාතක කතා.org

යටගිය දවස මගධරට එම ප්‍රදේශයෙහි බෝධිසත්වයෝ වටුයෝනියෙහි පිළිසිඳගෙණ මව්කුසින් බිහිව බිජුවට ගසාගෙණ නික්මුණු කල්හි මහත් වූ පෙදවටසා පමණ වටු පැටවෙක් වූයේය. ඉක්බිත්තෙන් ඔහු දෙමව්පියෝ කැදැල්ලේ වැදහොවා මුවතුඩින් ගොදුරු ගෙණවුත් පෝෂ්‍ය කෙරෙති. ඒ බෝධිසත්වයන්ට පක්ෂප්‍රහාර කොට ආකාශයෙන් යන්ට නිසිබලයෙක්වත් දෙපස ඔසවා ගොඩ ගමන් කරන්ට බලයෙක්වත් නැත. ඒ ප්‍රදේශය ද අවුරුද්දක් අවුරුද්දක් පාසා ලැවුගිනි ගන්නේය. ඒ ලැව්ගිනි එසමයෙහිත් මහහඬින් බුරමින් ඒ ප්‍රදේශයෙහි ගිනි ගත්තේ. ඒ දැක පක්ෂිය සමූහයා තම තමන්ගේ කැදැල්ලෙන් නික්ම මරණ භයින් භයපත්ව හඬමින් යන්නාහුය. බෝධිසත්වයන්ගේ දෙමව්පියෝ මරණ භයින් භයපත්ව බෝධිසත්වයන් හැර පියා පලාගියාහුය. බෝධිසත්වයෝ කැදැල්ලේ වැදහෙවම කර ඔසමා මැඩගෙණ එන්නා වූ ලැව්ගිනි දැක මෙසේ සිතූය. ඉදින් මට පක්‍ෂප්‍රහාර කොට ආකාශයෙන් යන්ට කිසි බලයෙක් වේනම් ආකාශයට පැනනැගී අනික් තැනකටයෙමි, මාගේ දෙමව්පියෝත් මරණභයින් භයපත්ව මා උදකලා කොට හැර තමන් රැකෙමින් ගියෝය. දැන් මට අන් පිළිසරණෙක් නැත. සරණයක් පිහිටක් නැත්තේම් මා විසින් අද කුමක් කටයුතුදෝහෝයි සිතූහ. තවද බෝධිසත්වයන්ට එකල මෙසේ වූ සිතිවිල්ලක් වුයේය. මේ ලෝකයෙහි ශිලගුණ නම් වූ දෙයක් ඇත. සත්‍යගුණ නම් වූ දෙයක් ඇත. යටගිය දවස පාරමීධර්මයන් පුරා බෝමැඩ හිඳ සම්‍යක් සම්බෝධිඥාන සමධිගමනය කළා වූ ශිලසමාධි ප්‍රඥාවිමුක්තිඥාන දර්ශනයෙන් යුක්ත වූ සියල්ලන් කෙරෙහි පතළා වූ මෛත්‍රී කරුණා ක්‍ෂාන්තියෙන් යුක්ත වූ සියලු සත්වයන් කෙරෙහි සමව පැවැත්තාවූ මෛත්‍රී භාවනාව ඇති සර්වඥවරයෝ නම් ඇත ඔවුන් විසින් ප්‍රතිවෙධකරණ ලද ධර්ම ගුණ නම් දෙයක් ඇත. මා කෙරෙහිත් එක් සත්‍යයක් ඇත. එසේ හෙයින් අතීතයෙහි උපන්නා වූ සර්වඥවරයන් හා ඔවුන් විසින් ප්‍රතිවේධකරණ ලද ගුණධර්මය ආවර්ජනය කොට මා කෙරෙහි විද්‍යාමාන වූ සත්‍ය සත්‍යක්‍රීයා කොට ගිනිවළකා අද මා විසින් මටත් සෙසු පක්‍ෂීන්ටත් ස්වාස්ථ්‍යයක් කිරීම වටනේයයි සිතුය. ඉක්බිත්තෙන් බෝධිසත්වයෝ අතීතයෙහි පිරිනිවියා වූ සර්වඥයන් වහන්සේගේ ගුණ සලකා තමන් කෙරෙහි විද්‍යමාන වූ සත්‍යස්වභාවය උදෙසා සත්‍යක්‍රියා කරන්නාහු මෙසේ කිවුය. ඉදින් මාගේ පක්ෂපාත්‍රයන් විදා ආකාශයෙහි නොයාහැකි බවත් හස්තපාදයන් ඇති බවත් ඔසවා නොයාහැකි බවත් දෙමව්පියන් මා කැදැල්ලේම දමා ගිය බවත් සත්‍යයද ඒ සත්‍යයෙන් ජාතවෙදය ඉවත්ව යායි කියා කැදැල්ලෙහි වැද හෙව සත්‍ය ක්‍රියා කළෝය. ඒ බෝධිසත්වයන්ගේ සත්‍ය ක්‍රියා හා සමග සොළොස් කිරීයක් පමණ තැන් නිවි ගිනි ඉවත්ව ගියෝය. ගිනි පසුබස්නේත් දවාගෙණ වනයට නොගියේය. වැලි කුමක් කළෝදයත් දියෙහි ගලාපු තණසුලක් මෙන් එතැන්හිම නිවී ගියේය. ඒ මහාබෝධිසත්වයන් විසු වාසස්ථානය මේ පියලුම කපමුලුල්ලෙහි ගින්නක් වැද නොගන්නා බැවින් කල්පස්ථායි වූ ප්‍රාතිහාර්යය නම් විය. මෙසේ මහබෝසතානෝ සත්‍යක්‍රියා කොට ජීවිතාන්නයෙහි කම්වු පරිද්දෙන් මිය පරලොව ගියේය. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මහණෙනි, මේ වනය ගින්නෙන් නොදැයේ දැන් මාගේ බලයෙක් නොවෙයි පුරාතනයෙහි වටුව උපන්කල මාගේ සත්‍යක්‍රියා බලයෙකැයි මේ ධර්මදේශනාව ගෙණ හැර දක්වා වදාරා චතුස්සත්‍ය ප්‍රකාශ කළසේක. චතුස්සත්‍යායාගේ කෙළවර සමහර කෙණෙකුන් වහන්සේ සෝවාන් වු සේක. සමහර කෙණෙකුන් වහන්සේ සකෘදාගාමී වූසේක. සමහර කෙණෙකුන් වහන්සේ අනාගාමී වූසේක. සමහර කෙණෙකුන් වහන්සේ රහත් වූසේක. බුදුරජානන් වහන්සේ පූර්වාපර සන්ධි ගලපා මේ වට්ටක ජාතකය නිමවා වදාල සේක. එසමයෙහි දෙමව්පියෝ නම් දැන් මේ දෙමව්පියෝමය. එසමයෙහි වටු රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම් ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේකි.

www.ජාතක කතා.org