www.ජාතක කතා.org

තවද එක්සමයෙක්හි ජගදානන්දකර වූ බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසනසේක් දහනය වූ පන්සලක් ඇති භික්ෂූ කෙණෙකුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ වනාහි සර්වඥයන් වහන්සේගේ සමීපයෙන් කමටහන් ගෙණ දෙව්රම් වෙහෙරින් නික්ම කොසොල් දනව්වෙහි එක් පසල්ගමක් නිසා එක් අරණ්‍යයෙක්හි සෙනස්නෙක වසන සේක්. ඉක්බිත්තෙන් පළමුවැනි මාසෙහිම උන්වහන්සේගේ පන්සල දහනය වූයේය. ඒ භික්ෂූන් වහන්සේ මාගේ පන්සල දහනවූයේය. දුකින්ම වසමි කියා මනුෂ්‍යයන්ට කිසේක. මනුෂ්‍යයෝ දැන් අපගේ කෙත වියළුනේය, කෙතට දිය හෙලාකොට දෙම්හ. දිය හෙලු කල්හි බිජු වපුටකොට දෙම්හ. බිජු වපුල කල්හි වැටකොට වැටකළ කල්හි නෙලායයි කියාද දාසඳයයි කියාද මැඩවයි කියාද මෙසේ මේ ක්‍රියාව දක්වමින් ම තුන්මසක් කල්යවුවාහුය. ඒ භික්ෂූන් වහන්සේ තුන්මසක් අභ්‍යවකාශයෙහි දුකින් වසන සේක් කමටහන් වඩා විශේෂයක් උපදවාගන්ට නොහැකි වූ සේක. පවුරුණුකොට වනාහි සර්වඡයන් වහන්සේගේ සමීපයට ගොස් නමස්කාර කොට එකත්පසෙක හුන්සේක. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් හා පිළිසඳර කථාකොට කිමෙක්ද මහණ, සැපසේ වස් විසුයෙහිද තොපගේ කමටහන් මස්තකප්‍රාප්ත වූයේදැයි විචාළෙ සේක. ඒ භික්ෂූන් වහන්සේ ඒ ප්‍රවෘත්තිය කියා මට සෙනසුන් සප්‍රාය නැති හෙයින් කමටහන් මස්තකප්‍රාප්ත නුවුයේ යයි දැන්වුසේක. සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහණෙනි, පෙර තිරශ්චිනගතයොත් තමහට සප්‍රායා සප්‍රායා දැනගත්තාහුය. තොපි කවර කාරණයකින් නොදත්තාහු දැයි වදාරා ඉකුත්වත් කථාව වදාළ සේක.

www.ජාතක කතා.org