|
තවද එක් සමයෙක්හි ශාන්තගුණ ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ මගධරට සැරිසරා වඩනාසේක් එක්තරා ගමෙක නුවණ නැති ගම්වැසි මනුෂ්‍යයන් අරභයා මේ ජාතකය වදාළ සේක.
එක් සමයෙක බුදුරජානන් වහන්සේ සැවැත්නුවරින් නික්ම මගධ රාජ්‍යයට ගොස් එහි චාරිකා කොට ඇවිදිනා සේක් එක්තරා ගමකට පැමිණිසේක. ඒ ගම තෙමේත් බොහෝසේ අඥාන මනුෂ්‍යයන් විසින් ගැවසීගත්තේය. එක් දවසක් ඒ ගම අඥාන මනුෂ්‍යයෝ රැස්ව කියන්නෝ් පින්වත්නි. අප වනයට වැද කර්මාන්ත කරණ කල්හි මදුරුවෝ කති උන්ගේ කෑම නිසා අපගේ කර්මාන්තයට බාධා වන්නේය. අපි ඇමදෙනම දුනු හා ආයුධ ඇරගෙණ ගොස් මදුරුවෝ හා යුද්ධ කොට සියලු මදුරුවන් විද කොට මරම්හයි මන්ත්‍රණය කොට වනයට ගොස් මදුරුවන් මරම්හයි ඔවුනොවුන් විද කොට මහදුකට පැමිණ අවුත් ඇතුළු ගමත් ගම් මධ්‍යයෙහිත් ගම්දොරත් වැදහොත්තාහුය. එකල සර්වඥයන් වහන්සේ භික්ෂූ සංඝයා පිරිවරා ඒ ගමට පිඬුසිඟා වන්සේක. අවශේෂ මනුෂ්‍යයෝ බුදුන් දැක වැද එකත්පස්ව උන්නාහුය. සර්වඥයන් වහන්සේ ඒ ඒ තැන විත් කෙටි මෙන් ව්‍රණවූ ශරීර ඇති මනුෂ්‍යයන් දැක උපාසකවරුන් අතින් විචාළසේක. බොහෝ මනුෂ්‍යයෝ ගිලන්ව වැදහොවිති මොහුන් විසින් කුමක් කරණ ලද්දේදයි විචාළසේක. ස්වාමීනි මේ මනුෂයෝ මදුරුවන් හා යුධ කරම්හයි ගොස් ඔවුනොවුන් විද තුමු ගිලන් බවට පැමිණියෝ යයි දැන්වුය. සර්වඥයන් වහන්සේ එම්බා නුවණැති මනුෂ්‍යයෙනි. මේ අඥාන මනුෂ්‍යයන් මදුරුවන් මරම්හයි කියා තමන් මැරුවේ දැන් මතු නොවෙයි පෙරත් මදුරුවන් ගසම්හයි කියා අනුන් ගැසූ මනුෂ්‍ය කෙණෙක් වේදැයි වදාරා ඒ ප්‍රඥා මනුෂ්‍යයන් විසින් ආරාධිත වූ බුදුරජහු ඉකුත්වත් දක්වා වදාළ සේක.
|