www.ජාතක කතා.org

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරණ කල්හි නුවරවාසීහූ ජනපදවාසින්ගේ දුවනි කෙණෙකුන් රුස්වා දවස් නියමකොට තබා තමාගේ කුළුපග වූ ආජීවකයෙකුගෙන් විචාළාහුය. ස්වාමීන් වහන්ස අද අපගේ එක් මංගළ්‍ය ක්‍රියාවක් ඇත. නකක්‍ෂත්‍රය යහපත්දෝහෝ අයහපත්දෝහෝයි විචාළාහුය. ඒ ආජිවකතෙම සිතනුයේ මොහු තමාගේ අභිප්‍රාවෙන් දවස නියම කොට තබා දැන් මාගෙන් විචාරන්නා හුයයි කියා කිපී අද මොහුන්ගේ මගුලට අන්තරාය කෙරෙමියි සිතා අද නක්‍ෂත්‍රය යහපත් නොවන්නේය. ඉදින් මගුල් කළෝ නම් මහත් විනාශයට පැමිණෙන්නාහුයයි කියේය. ඒ නුවර වාසීහු ඔහුගේ වචනය අදහාගෙණ නොආවාහුය. ජනපද වාසීහු ඔවුන්ගේ නොඊම දැන නුවරවාසීහු අද දවස තබා නොආවාහුය. අපට ඔවුන්ගේ ප්‍රයෝජන කවරේදැයි කියා අන්‍යයන්හට දුවනියන් දුන්නාහුය නුවරවාසීහු දෙවැනි දිනයෙහි අවුත් කුමාරිකාව ඉල්වූ වාහුය. ජනපදවාසීහු කියන්නෝ තෙපි නුවරවාසීහු නම් නසනලද ලජ්ජා ඇති ගැහැවියහ දවස තබා කුමාරිකාව නොගත්තාහ, අප තොපගේ ගමන් නැති බැවින් අන්‍යයන්ට දුනුම්හයි කිවාහුය. අපි ආජීවකයක්හූගෙන් විචාරා නක්‍ෂත්‍රය යහපත් නොවන බැවින් නො ආම්හ. අපට කුමාරිකාව දෙවයි කීවාහුය. අප විසින් තොප නොඑන බැවින් අන්‍යයන්ට දෙනලද්දේය, දැන් දෙනලද කුමාරිකාව කෙසේ නැවත ගෙණ එමෝදැයි කියා මෙසේ ඔවුන් ඔබිනොබ ඩබර කරණ කල්හි එක් නුවරවැසි ප්‍රඥාවත් පුරුෂයෙක් එක් කර්මාන්තයක් නිසා ජනපදයට ගියේය. අපි ආජීවකයාගෙන් විචාරා නක්‍ෂත්‍රය යහපත් නොවන බැවින් නො ආම්හයි කියන්නාවූ ඒ නුවර වාසීන්ගේ වචනය අසා නක්‍ෂත්‍රයෙන් කවර ප්‍රයෝජනද කුමාරිකාවගේ ලැබීම් නක්‍ෂත්‍රය නොවේදැයි කියා මෙසේ කීසේක. නක්‍ෂත්‍රය බලන්නාවු අඥානයාගේ අර්ථය ඉක්මෙන්නේය. අර්ථයට අභිෂ්ටාර්ථප්‍රතිලාභය ම නක්‍ෂත්‍ර නම් තාරකා රූපයෝ කවර නම් අර්ථයක් සාදද්දැයි කීසේක. නුවරවාසීහු ඩබර කොට කුමාරිකාව නො ලැබ ගියාහුය. ශාස්තෘන් වහන්සේ ද මහණෙනි මේ ආජීවකතෙම මේ කුලයාගේ මගුපට අන්තරාය කළේ දැන් මතු නොවෙයි. පූර්වයෙහිත් අන්තරාය කෙළේම යයි කියා මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ නක්‍ෂත්‍ර ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි ආජීවකතෙම දැනුදු ආජීවක වූයේය. එසමයෙහි ඒ කුලයෝ දැනුදු මේ කුලයෝ වූවාහුය. ඔවුන්ට අවවාද කියා සිටියා වූ පණ්ඩිත පුරුෂයන් වූයෙන් වනාහී තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

www.ජාතක කතා.org