|
තවද එක් සමයෙක්හි ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සේක් එක්තරා ආජීවකයෙකු අරභයා මේ ජාතකය වදාළ සේක.
සැවැත්නුවර වනාහි එක්කුලයෙක දුවනී කෙනෙකුන් ජනපදයෙහි වාසය කරන්නා වූ එක් කුලපුත්‍රයෙක් තමාගේ පුත්‍රයාහට වලක්වා අසවල් දින යෙහි කැඳවාගෙණ යන්නෙමි නියා දවස නියමකොට තබා ඒ දිනය පැමිණි කල්හි තමාගේ කුළුපග වූ ආජිවකයක්හුගෙන් විචාලේය. ස්වාමීන් වහන්ස අද අප එක් මඟුලක් කරම්හ. නක්‍ෂත්‍ර යහපත්දෝහෝ අයහපත්දෝහෝයි විචාළේය. ඒ ආජීවකතෙම සිතනුයේ මේ තෙම මා අතින් පළමුවෙන් නොවිචාරා දවස්තබා දැන් විචාරන්නේය වන්නාට මොහු හික්මවන්නෙමි කිපී අද නක්‍ෂත්‍ර යහපත් නොවන්නේය. දැන් මගුල් නොකරව ඉඳින් කළාහු නම් මහත් විනාශවන්නේයයි කීයේය. ඒ කුලයෙහි මනුෂ්‍යයෝ ඔහුගේ වචනය අදහාගෙණ එදවස නො ගියාහුය. නුවරවාසීහූ සියලු මංගල්‍යය ක්‍රියාව කොට ඔහුන්ගේ නොඊමදැක ජනපදවාසීන් විසින් අද දවස තබන ලද්දේය. නොම ආවාහුය. අපගේ ද බොහෝ වස්තුව විනාශයට ගියේය. අපට ඔහුන්ගෙන් කවර ප්‍රයෝජනද අපගේ දුවනීයන් අනිකක්හට දෙම්හයි කියා කරණ ලද මගුලෙන්ම දුවනියන් අනිකක්හට දුන්නාහුය. අනිකුත් ජනපදවැසි කුලයෙහි ඇත්තෝ දෙවැනි දිනයෙහි අවුත් අපට කුමාරිකාවක දෙවයි කිවාහුය. ඉක්බිත්තෙන් ඔහුන්ට සැවැත්නුවර වාසීහු කියන්නාහු ජනපද වාසී වූ තෙපි ගෘහපතියෝය, පවිටු මනුෂ්‍යයෝය, දවස් තබා අනාදරයෙන් නො ආවාහුය. ආවාහු මගින්ම නැවත යව අප විසින් අන්‍යයන්ට කුමාරිකාව දෙන ලද්දීයයි කියා පරිභව බැන්නාහුය. ඔහු ඔවුන් හා සමඟ ඩබරකොට ආවාහූ මගින්ම ගියාහුය. ඒ ආජීවකයා විසින් ඒ මනුෂ්‍යයන්ගේ මගුලට අන්තරාය කළ බව භික්ෂූන්ගේ අතුරෙහි ප්‍රකාශ වූයේය. ඒ භික්ෂූ දම්සභා මණ්ඩපයෙහි රැස්ව උන්නාහු ඇවැත්නි ආජීවකයා විසින් කුලයාගේ මගුලට අන්තරාය කරණ ලදැයි කියමින් හුන්නාහුය. ශාස්තෘන් වහන්සේ අවුත් මහණෙනි මේ දම්සභා මණ්ඩපයෙහි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළ කල්හි මෙනම් කථාවකිනැයි දැන්වුවාහුය. මහණෙනි ආජීවකයා විසින් කුලයාගේ මගුලට අන්තරාය කෙළේ දැන් මතු නොවෙයි පූර්වයෙහිද මේ ආජිවකතෙම ඔවුන්ට කිපී මගුලට අන්තරාය කෙළේයයි වදාරා ඉකුත්වත් කථාව ගෙණහැර දක්වා වදාළසේක.
|