www.ජාතක කතා.org

තවද එක්සමයෙක්හි සංසාරචක්‍ර මථනය කළාවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක් එක්තරා දනව්වාසී ස්ත්‍රියක් අරභයා මේ ජාතකය වදාළසේක.

එක්සමයෙක්හි කොසොල්රට තුන් දෙනෙක් එක්තරා වනයක් සමීපයෙහි සීසානාහුය. එකල ඒ වන ඇතුළේ වසන්නාවූ සොරු මන්ෂ්‍යන් අල්වා කොල්ලකාගෙණ ගියෝය. රාජපුරුෂයෝ ඒ සොරුන් සොයා නොදැක ඒ තුන්දෙනා සීසානා තැනට අවුත් තෙපි වනයෙහි හිඳ කොල්ලකාපියාදැයි සී සා ඇවිදුදැයි කියා ගම්කොල්ලෑ කෑ සොරුන් නම් මොහුයයි බැඳගෙණ අවුත් කොසොල් රජ්ජුරුවන්ට පාවාදුන්නය. එකල්හි එක් ස්ත්‍රීයක් අවුත් මට වස්ත්‍රයක් දෙවයි කිවා හඬමින් නැවත නැවත මාළිගාවට ඇවිදින්නීය. රජ්ජුරුවෝ ඒ ස්ත්‍රියගේ ශබ්දය අසා මෑට වස්ත්‍රයක් දෙවයි කීය. එබස් අසා රාජ පුරුෂයෝ වස්ත්‍රයක් ගෙණ ඒ ස්ත්‍රිය සමීපයට ගියෝය. ඒ ස්ත්‍රිය වස්ත්‍රය දැක මම මේ වස්ත්‍රය නොඉල්ලීම. පුරුෂ වස්ත්‍රය ඉල්ලීමි කිව මනුෂ්‍යයෝ ගොස් රජ්ජුරුවන්ට කියන්නෝ ස්වාමීනි මේ ස්ත්‍රී වස්ත්‍රයක් උවමැනවයි නොකියයි. පුරුස වස්ත්‍රයක් උවමැනවයි කියයි. කියා රජ්ජුරුවන් ට දැන්වූහ. එකල්හි රජ්ජුරුවෝ ස්ත්‍රී සමීපයට කැඳවා ගෙන්වා ගෙණ තෝ පුරුෂ වස්ත්‍රය වුවමැනවයි කියා යාඤඥා කරන්නේයැයි විචාලාහුය. එසේ ස්වාමීනි ස්ත්‍රියට වල්ලභයා නම් වස්ත්‍රයක් හා සමාන පුරුෂයා නැති කල්හි දහසක් නිල වටිනාවත් වස්ත්‍රයක් හැඳගෙණ සිටින්නාහු ස්ත්‍රි තොමෝ නග්න වූවාහු නම් වෙයි කිව. රජ්ජුරුවෝ ස්ත්‍රියගේ බස් අසා ප්‍රසන්න වූ සිත් ඇතිව මෝ තුන් දෙනෙක් පිට කවුරු වෙද්දැයි විචාලා්ය. ස්වාමීනි මුන් තුන් දෙනා එක් කෙණෙක් මාගේ වල්ලභයාය. එක්කෙණෙක් මාගේ මළණුවෝය. එක්කෙණක් මාගේ පුතණුවෝය කීය. රජ්ජුරුවා් එබස් අසා මම තිට සතුටුවෙමි කීහ. සතුටු වූ මම මුන් තුන්දෙනාගෙන් එක්කෙණෙකුන් දෙමි. කවුරුන් කැමැත්තෙහි දැයි විචාලේය. ස්වාමීනි මම ජීවත්ව වුන්නෙම් වීනම් එක් වල්ලභයෙකු ලැබෙමි. පුතනුවන් කෙණෙකුන් ලැබෙම්ය.මාගේ දෙමාපියන් මල බැවින් මලණුන් කෙණෙක් දුල්ලභයෝය. එසේ හෙයින් ස්වාමීනි මට මළනුවන් දුන මැනවයි කියෝය. රජ්ජුරුවෝ සතුටුව තුන් දෙනාම ස්ත්‍රියට පාවා දුන්නේය. මේ ස්ත්‍රිය නිසා තුන් දෙනෙක් දුකින් මිදුනාය. මේ කාරණය භික්ෂූ සංඝයා කෙරෙහි ප්‍රකාශ විය. ඉක්බිත්තෙන් එක් දවසක් භික්ෂූ සංඝයා වහන්සේ දම්සභා මණ්ඩලයෙහි රැස්ව හිඳ ඇවැත්නි එක් ස්ත්‍රියක නිසා තුන් දෙනෙක් මිදුනෝ වේදැයි ඒ ස්ත්‍රියගේ ගුණ කිය කියා උන් සේක. ශාස්තෘ වූ බුදු රජානන් වහන්සේ දම්සභා මණ්ඩපයට අවුත් පනවන ලද බුද්ධාසන මස්ථකයෙහි වැඩ හිඳ මහනෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා මේ නම් කතාවකින් යුක්තව උනුම්හයි කී කල්හි මහණෙනි මේ ස්ත්‍රී මුන් තුන් දෙනා ගැලවූවාක් දැන් මතු නොවෙයි. පෙරත් ගැලවුවයි දක්වා වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

www.ජාතක කතා.org